බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg

දංගලු ගම් පියසෙහි කටුමැටි ගැසූ පොල් අතු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලක 1911-05-09 දින පාසලක් ආරම්භ විය. බෞද්ධාගමික පාසලක් ලෙස එය ආරම්භ කිරීමට පෙරමුණ ගත්තේ එවකට දංගල්ල රජමහා විහාරාධිපතිව වැඩ විසූ ගරුතර ඇස්වත්තේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ස්වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ මෙම පාසල දංගල්ල පිරිමි පාසල නමින් හැඳින්වීය. මෙහි මුල්ම ශිෂ්‍යයා වූයේ දොන් නෝරිස් අප්පුහාමිය. ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් දංගලු මහ විදුහල් මාතාවගේ ආරම්භය මේ ආකාරයෙන් සිදුවිය.

1911 දී ශිෂ්‍යයන් 01ක්

1912 දී ශිෂ්‍යයන් 06ක්

1913 දී ශිෂ්‍යයන් 06ක්

1914 දී ශිෂ්‍යයන් 20ක්

ආදී වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවෙමින් අවුත් 1921 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 262ක් බව සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වේ. 1921 වනතුරු පාසලේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ඇස්වත්තේ ශ්‍රී සුමංගල හිමියන්ය.

1921-01-11 දින ගුරු මුහන්දිරම් වී. ඩී. ඩී. වික්‍රමරත්න මහතා විදුහල්පති ලෙස වැඩ භාරගත් අතර පාසලේ ඉදිරි ගමන සඳහා මංපෙත සකස් කරමින් ප්‍රදේශයේ ප්‍රභූන්ගේ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහායෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ලබාගැනීමටත්, පාසල රජයට පවරා ගැනීමේ කටයුතුවලදීත් පුරෝගාමීව කටයුතු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1921-10-31 දින මෙම පාසල රජයට පවරාගත් අතර භික්ෂූන් වහන්සේ 14 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද සිදුවිය. එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය දැරූ ඊ. ඉවැන්ස් මහතා ප්‍රමුඛ ප්‍රභූන් අතින් ස්ථිර ගොඩනැගිල්ල විවෘත විය.

මෙවක් පටන් පාසල හැඳින්වූයේ දංගල්ල රජයේ ස්වභාෂා පිරිමි පාසල යන නමිනි. විදුහල්පතිතුමා ඇතුළු පස්දෙනෙක් වූ ගුරු මණ්ඩලයේ පූර්ණ කැපවීම මත විදුහල දිනෙන් දින දියුණුවට පත් වූ අතර වී. ඩී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් පසුව පත්ව ආ සියලුම විදුහල්පතිවරු ද විද්‍යාලයීය දියුණුවට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෝය.

1956-09-01 දින විදුහල්පති ලෙස වැඩ භාරගත් ජී. පී. කරුණාසේකර විදුහල්පතිතුමාගේ කාලය පාසල් ඉතිහාසයේ දීප්තිමත් කාල පරිච්ඡේදයකි. ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් පාසලට අවශ්‍ය මාවතක් ලබාගත් අතර අද ප්‍රධාන ශාලාව ලෙස සලකනු ලබන ගොඩනැගිල්ලත්, ගුරු නිවාසයක් හා බුදු මැදුරක් පාසලට අත්කර දීමට එතුමා සමත්විය. එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා අතින් 1959-09-18 දින උත්සවාකාරයෙන් මෙම ගොඩනැගිල්ල විවෘත විය.

පාසලට විශාල අඩුපාඩුවක්ව තිබූ පාසල් කොඩිය හා ලාංඡනය 1961-04-17 දින දෙපාර්තමේන්තු අනුදැනුම ඇතිව භාවිතයට ගැනුණි. මෙතෙක් පිරිමි පාසලක් වශයෙන් තිබූ මෙම පාසල 1965-05-03 දින කොළඹ උතුර අධ්‍යාපන ප්‍රදේශයට අයත් මහ විදුහලක් වශයෙන් උසස් කරනු ලැබීය. එතැන් පටන් කො/උ දංගල්ල මහා විද්‍යාලය නමින් මෙම පාසල හැඳින්වූ අතර ඒ අනුව 8 ශ්‍රේණියෙන් ඉහල ගැහැණු පිරිමි දෙපක්ෂයටම සිප් සතර හැදෑරීමේ අවස්ථාව සැලසිණි.

දිනෙන් දින දියුණුවේ පෙර මගට ගමන් කළ දංගලු විදුහල් මාතාව ලැබූ සුවිශේෂ ජයග්‍රහණය වන්නේ 1968 වර්ෂයේ දී කලා අංශයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීමයි. සිසුන් කිහිප දෙනෙකුගෙන් උසස් පෙළ පන්ති ආරම්භ කළ ද 1970න් පසු එහි ප්‍රතිඵල නෙලා ගත හැකි විය. ආර්. ඒ. කුසුමා රණතුංග ශිෂ්‍යාව 1971 වසරේ දී උසස්පෙළ සමත් වී පේරාදෙණිය සරසවියට ඇතුළත්වීම විද්‍යාලයීය ඉතිහාසයේ නොමැකෙන සිද්ධියකි.

මේ සඳහා එවකට විදුහල්පතිව සිටි ජයවඩු විතාන මහතා දැරූ උත්සාහය සදා අමරණීයය. විද්‍යාලය සඳහා ප්‍රථම වරට පාසල් ගීතයක් හඳුන්වා දීම ද එතුමා අතින් සිදුවිය.

1971 වර්ෂයේ දී තවත් වැදගත් සිද්ධියක් සිදුවිය. එනම් දංගල්ල කණිටු විදුහලේ 6,7 සහ 8 ශ්‍රේණි මෙම විදුහලට ගෙන එනු ලැබීමයි. එයින් පසු ශිෂ්‍ය සංඛ්‍යාව තවත් වැඩි විය.

1975 - 1976 වර්ෂවලදී විද්‍යාලයීය සිසු දරු දැරියෝ රාශියක් ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් අභිබවමින් උසස් ලෙස සමත් වී සරසවි වරම් ලැබීම තවත් එක් වැදගත් සිදුවීමකි. එවකට විදුහල්පතිව විසූ එම්. ඒ. පී. සිරිසේන මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ඇප කැප වීම එම ජයග්‍රහණය අත්කරගැනීමට දායක වූ බව කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතුය. විද්‍යාලයීය සෞන්දර්‍ය අංශය දියුණු කිරීමට මෙම විදුහල්පතිතුමා කටයුතු කළේය. විද්‍යාගාරය සකස් කිරීමත්, විදුහලට අවශ්‍ය ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත් සිරිසේන විදුහල්පතිතුමා සමත් විය.

1977 න් පසු මෙම විදුහලේ දියුණුව මදක් ඇණ හිටි අතර 1988 න් පසු මෙම විදුහල නැවත වරක් දියුණුවීමේ පෙර ළකුණු පහළ කරන්නට විය. 1987-02-13 දින විදුහලට පත්ව ආ වි. ර. ආ. වික්‍රමරත්න විදුහල්පතිතුමාගේ නොපසුබට උත්සාහය ඒ සඳහා බලපෑවේය. 1990-12-31 වන දින එතුමා විශ්‍රාම ගැනීමෙන් පසුව විදුහල්පති ධුරයට පත් ව ආ ඩී. කේ. එස්. ආනන්ද මහතා විද්‍යාලයීය දියුණුව පතා ඇප කැපවීමෙන් කටයුතු කරනු ලැබීය.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් මත බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති සුරනිමල රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් 1992-01-02 දින දංගල්ල කණිටු විදුහල මෙම විදුහලට ඒකාබද්ධ කිරීම විද්‍යාලයීය ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. ඉන්පසු මෙම විදු පියසෙන් ම 1 වසර සිටම සිසු සිසුවියන්ට සිප් සතර හැදෑරීමට අවස්ථාව සැලසිණ. එසේම එම ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව ළදරු උයනක අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව ළදරු උයන 1992-06-02 දින සිසුන් අතට පත් කිරීමට හැකි විය.

ශිෂ්‍ය සංඛ්‍යාවට ගැලපෙන ක්‍රීඩා පිටියක් නොමැති වූයෙන් ඒ පිළිබඳා අවධානය යොමු වූයේ පාසල් භූමියේ ඉහළ කෙළවර පිහිටි උස්බිම වෙතය. පාසල් සංවර්ධන සමිතියේ හා ආදි ශිෂ්‍ය සංගමයේ සහයෝගය ඇතිව ක්‍රීඩා පිටිය සකස් කිරීමට මූලික අඩිතාලම 1994-08-03 දින දමනු ලැබේ. 1994-08-03 දින ක්‍රීඩා පිටියේ මූලික කටයුතු ආරම්භ ඛල අතර ඒ සඳහා රු. 9600/- ක මුදලක් වැය විය.

පාසලට විශාල අඩුපාඩුවක්ව පැවති විදුලි බලය ලබා ගැනීමේ පළමු අදියර ලෙස 1994-03-05 දින විදුලි බලය පාසලට ලැබුණි. මේ සඳහා ගරු අමාත්‍ය සුරනිමල රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය ලැබුණි.

නොවිධිමත් අධ්‍යාපන ඒකකයක් විදුහලට ලැබුණු අතර ලඝුලේඛනය හා යතුරු ලියන පාඨමාලාවක් 1995-04-10 දින ආරම්භ වූ අතර ප.ව. 2:00 සිට ප.ව. 5:00 දක්වා සතියේ දිනවල පැවැත්විණි. පාසලට අත්‍යවශ්‍ය අංගයක් වූ තූර්‍යවාදන කට්ටලයක් බස්නාහිර පළාත් සහාවේ අධ්‍යාපන ඇමති සුරනිමල රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහයෙන් ලැබුණි.

පාසල් භූමිය වටා ස්ථිර වැටක් සකක් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණු නිසා ඒ පිළිබඳව ආදී ශිෂ්‍යයන් සුබපතන්නන් දැනුවත් කරන ලදී. ඒ අනුව ආදි ශිෂ්‍ය රංජිත් වික්‍රමතිලක මහතාගේ පරිත්‍යාගයෙන් 1994-04-09 දින සකස් කරනු ලැබීය.

පාසලට පුස්තකාලය වශයෙන් පරිහරණය කිරීමට වෙනම ගොඩනැගිල්ලක් නොතිබුණු අතර 1999-10-26 දින පාසල් සංවර්ධන සමිතියේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ පාසල් විද්‍යා විෂය භාර ආචාර්‍ය එච්. ජේ. හෙට්ටිආරච්චි මයා විසිනි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම සඳහා චිත්‍රපට සංදර්ශනයක් හා පාසල් නාට්‍ය සංදර්ශනයක් පවත්වන ලදී. පාසලේ කඩා වැටුණු ගුරු නිවසේ ගඩොල්, පාසල් දරුවන්ගේ ශ්‍රමය ආදිය ශිෂ්‍ය ආධාර ඇතිව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කළේය. (2000 ජනවාරි මාසයේ දී) 2000-11-25 දින එම ගොඩනැගිල්ලේ වහලය සකස් කරන ලදී.

2001-03-19 දින නියෝජ්‍ය විදුහල්පති ලෙස අනුරාගොඩ ධම්මාරාම හිමියන් පැමිණීම නව යුගයක රන් දොරටු විවර කිරීමක් විය. උන්වහන්සේ පැමිණි වසරේ දී ම අ.පො.ස. (සා. පෙළ) සමත් වූවන්ගෙන් අ.පො.ස. (උ. පෙළ) පන්ති ආරම්භ කලේය. ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් නොමැති වූ හෙයින්, ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයෙන් සිසුන් 6 දෙනෙකු ගෙන්වා ගෙන පන්සලේ නවත්වා ගෙන ඔවුන් විද්‍යාලයේ උසස් පෙළ පන්තිවලට යොමු කළ අතර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් අනතුරුව සිසුන් සංඛ්‍යාව 175 ක් විය.

2006-01-12 වන දින වැඩ බලන විදුහල්පති ලෙස පූජ්‍ය අනුරගොඩ ධම්මාරාම හිමියන් පත් වූ අතර ඉන්පසු සිසුන් සංඛ්‍යාව 423 ක් දක්වා වර්ධනය විය.

උන්වහන්සේගේ නායකත්වයෙන් විද්‍යාලයේ පහත ආකාරයෙන් දියුණුවක් ඇතිවිය.

අ.පො.ස. (සා. පෙළ) හා අ.පො.ස. (උ. පෙළ) ප්‍රතිඵල ද දිනෙන් දින දියුණු වී 2007 වසරේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ 2 වන සහ 4 වන ස්ථානයන් ද හිමි කරගනු ලැබීය.

2009 වසරේ දී විධිමත් පුස්තකාලයක් ආරම්භ කිරීම භාෂා දින හා ක්‍රීඩා තරගවලින් සමස්ත ලංකා තරග දක්වා ඉදිරිපත් කිරීම. 2001 වසරෙන් පසු සෑම වර්ෂයකම දරුවන් කොට්ඨාස, කලාප, පළාත් තරගවලින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට යොමුකරවීම.

2010 වර්ෂයේ සමස්ත ලංකා ක්‍රීඩා ඉසව් 6ක් නියෝජනය කිරීමට ලැබීම ගම්බද කුඩා පාසලක් වශයෙන් ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණය විය.

විශේෂ ව්‍යාපෘති මගින් විභාග ප්‍රතිඵල නංවා ගැනීම සේම සිසුන්ගේ අධ්‍යාත්මික ප්‍රගතිය සඳහා දර්ශනීය බුද්ධ මන්දිරයක් ඉදි කිරීම මෙකල සිදුවිය.

සිසුන් ශීඝ්‍රව වර්ධනය වීම නිසා ගොඩනැගිලි, ඩෙස් පුටුවල ඌණතාවක් හට ගැනීම හේතුවෙන් පාසල් සංවර්ධන සමිතියෙන් සමග එක් වී ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මැතිතුමාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මැතිතුමන්ගේ අනුග්‍රහය ඇතිව අඩි 30 x 20 ගොඩනැගිල්ලක් ඉදිකරනු ලැබීය.

ක්‍රීඩා කිරීමට නුසුදුසු හා ප්‍රමාණවත් නොවුණු ක්‍රීඩා පිටියක් පැවති අතර ක්‍රීඩා පිටියට යාබද ඉඩම් හිමිකරුවන්ගෙන් ඉඩම් ලබාගෙන ඩුලිප් විජේසේකර ඇමතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ක්‍රීඩා පිටිය කපා සකස් කර පාසල් සංවර්ධන සමිතිය සමග එක් වී ක්‍රීඩා මණ්ඩපයක් සැකසීම සිදුකරන ලදී.

එසේම විදුහල්පති කාර්‍යාලය අංග සම්පූර්ණ විදුහල්පති කාර්‍යාලයක් බවට පත් කිරීම සහ ද්විතියික අධ්‍යාපන නවීකරණ වැඩසටහන යටතේ විද්‍යාලයට අංග සම්පූර්ණ පරිගණක ඒකකයක් ලබාගැනීමට හැකිවීම. එමගින් සිසුන්ගේ පරිගණක සාක්ෂරතාවය  විශිෂ්ට මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම.

අංග සම්පූර්ණ සනීපාරක්ෂක වැසිකිලි පද්ධතියක් සකස් කරගත හැකිවීම

අක්‍රමවත්ව පැවති කසල අපහරණය ක්‍රමවත් කර සෞඛ්‍ය සම්පන්න ශිෂ්‍ය පිරිසක් බිහිකිරීම සඳහා රමණීය පරිසරයක් නිර්මාණය කිරීම නිසා 2008 වර්ෂයේ සිට සමාජ තරගවලින් ජයග්‍රහණ හිමිවීම.

පාසල් පිවිසුම් මාර්ගය ඩුලිප් විජේසේකර අමාත්‍යතුමාගේ සහ බස්නාහිර පළාත් මන්ත්‍රී රවී විජේසේකර මැතිතුමාගේ විමධ්‍යගත මුදල්වලින් කොන්ක්‍රීට් කර ගැනීම.

පාසල් පරිශ්‍රය ආරක්ෂා කරගැනීම සඳහා විදුහල්පති ස්වාමීන්වහන්සේගේ වැටුපෙන් රු. 50000/- කට වැඩි මුදලක් වැය කර ගේට්ටුවක් දැමීම සහ වැට සැකසීම.

පරිසරයේ අලංකාරය සඳහාත් අපතේ යන ජලය ප්‍රයෝජනවත් කාර්‍යයක යෙදවීම සඳහාත් පොකුණු 3ක් ඉදිකර නෙළුම්, මානෙල් වැනි මල් වැවීම.

සෝදා පාලුව වලක්වන කළුගල් බැමි හා පැති බැමි විදුහල්පති ස්වාමීන්වහන්සේ ගේ වියදමින් ඉදිකර ඇති අතර ඒවායේ වටිනාකම ලක්ෂ 5කට වැඩිය. විවිධ මල් වර්ගවලින් පරිසරය අලංකාර කර ඇත.

2010 වගා තරගයෙන් දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයෙන් 2වන ස්ථානයත් ගම්පහ අධ්‍යාපන කලාපයෙන් 3 වන ස්ථානයත් හිමි වීම.

අක්‍රමවත්ව පැවැති විද්‍යාල භූමිය ක්‍රමවත් ලෙස සකස්කර පඩි පෙලවල් 3ක් පාසල් සංවර්ධන සමිතිය ශ්‍රමදාන පදනමිාන් කිරීම.

ඩබ්. ඇල්බට් මහතාගෙන් රු. 50000/-ක මුදලක්, සිසු පොළක් පැවැත්වීම හා ආදි ශිෂ්‍ය ආධාරවලින් විදුහලට ෆොටෝ කොපි යන්ත්‍රයක් ලබාගැනීම.

ක්‍රමවත් ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් ආරම්භ කිරීම සහ එය සිසුන්ගේ ඵලදායිතාවයට යෙදවීම.

ශබ්දවාහිනි පද්ධතියක් ලබාගැනීම.

විදුහල්පති ස්වාමීන්වහන්සේ 2008 වර්ෂයේ ගම්පහ කලාපයේ විදුහල්පතිවරුන් අතරින් විද්‍යා විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

වත්මන් විදුහල්පති දයා රත්නසිරි මහතා වැඩභාරගත් පසු විද්‍යාලයීය ප්‍රධාන ශාලාව සඳහා නව ගොඩනැගිල්ලක් ද ප්‍රාථමික සම්පත් ඒකකය සඳහා තවත් ගොඩනැගිල්ලක් ද ඉදිකර අවසන් කල අතර 2024 වසරේ එවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ පරිත්‍යාගයෙන් විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් ලබාගැනීමට හැකි වූ අතර මේ වනවිටත් ගුරු මණ්ඩලය සහ සිසුදරුවන් එයින් විපුල ප්‍රයෝජන ලබමින් සිටියි.